මී උණ

මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් යනු කුමක්ද?

  • ලෙප්ටොස්පයිරෝසිස් යනු බැක්ටීරියාවක් නිසා ඇති වන බෝවන රෝගයකි.
  • එය ප්‍රධාන වශයෙන් මිනිසුන්ට, සතුන් මගින් ආසාදනය වන රෝගයකි.
  • මෙහිදී උණ, හිසරදය සහ මස්පිඬු වේදනාව වැනි රෝග ලක්ෂණ වල සිට දරුණු සංකූලතා ඇති වීමේ අවදානමක් ඇත.

 

ලෙප්ටොස්පයිරෝසිස් ඇතිවීමට හේතුව කුමක්ද? ‍

  • ලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව ශරීරගත වීමෙන් මී උණ රෝගය මිනිසුන්ට වැළඳේ.
  • අධික වර්ෂාපතනයක් පවතින ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපවල ගංවතුරට නිරාවරණය වීමෙන්  මෙම රෝගය වැළඳීමේ අවදානම වැඩි විය හැකිය.

 

වාහකයන් ලෙස ක්‍රියා කිරීමෙන් රෝගය පැතිරවිය හැකි සතුන් කවුරුන්ද?

  • මීයන්: මීයන් Leptospira බැක්ටීරියාවේ සැලකිය යුතු වාහකයන් වේ.
  • පශු සම්පත්: ගවයින්, ඌරන් සහ එළුවන් ගේ මුත්‍රා වල මෙම ආසදක බැක්ටීරියාව තිබිය හැක. එමනිසා පශු සම්පත් සහ කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවීන්ට මෙය වැළඳීමේ වැඩි අවදානමක් ඇත.
  •  සුනඛයින්: ලෙප්ටොස්පයිරෝසිස් සුනඛයන්ට වැළඳිය හැකි අතර එමනිසා සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට සහ පශු වෛද්‍යවරුන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇත.
  • වන සතුන්: මුවන්, මුගටියන් වැනි කුඩා ක්ෂීරපායින් ගෙන් ලෙප්ටොස්පයිරෝසිස් සම්ප්‍රේෂණය විය හැකිය.
  • බළලුන්: බළලුන් මගින් ලෙප්ටොස්පයිරෝසිස් සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අඩුය.

 

කුමන ක්‍රියාකාරකම් මගින් මී උණ වැළඳීමේ අවදානම වැඩි කරයිද?

  • ආසාදිත සතුන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වූ ජලය පරිහරණයෙන්
  • ආසාදිත ජලය පානය කිරීම, ස්නානය කිරීම හා සමේ ඇති තුවාල හරහා, ඔබගේ ඇස් සහ මුඛයේ ශ්ලේෂ්මල පටල හරහා මෙම බැක්ටීරියාව ශරිරගත වීමෙන්
    • එබැවින් ගොවියන්, පශු කර්මාන්තයේ සහ කෘෂි කරමාන්තයේ නියැලෙන්නන්, සනීපාරක්ෂක කම්කරුවන්, පතල් කම්කරුවන්, වැලි ගොඩ දමන්නන්, පුරන් කුඹුරු වල සෙල්ලම් කරන්නන්, පශු වෛද්‍යවරුන් මෙම රෝගය වැළඳීමේ වැඩි අවදානමක් සහිත පිරිස වේ.

 

ලෙප්ටොස්පයිරෝසිස් රෝගය අවදානම් සහගතද?

ලෙප්ටොස්පයිරෝසිස් රෝගය සාමාන්‍ය උණ තත්ත්වයක සිට සංකුලතා බොහෝමයක් සහිත මාරාන්තික රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක. රෝගය ඉක්මණින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් සම්පුර්ණ සුවය ලැබීමේ හැකියාව ඉතා ඉහළය. ප්‍රතිකාර පමා වුවහොත් වකුගඩු, පෙනහලු, හෘදය වස්තුව ආශ්‍රිත සංකූලතා ඇතිවිය හැක.

 

ලෙප්ටොස්පයිරෝසිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • අධික උණ
  • හිසරදය
  • මාංශ පේශිවල දැඩි වේදනාව
  • ඇස් තද රත් පැහැ ගැන්වීම
  • මුත්‍රා ප්‍රමාණය අඩුවීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • කැස්ස සමග රුධිරය වහනය වීම

 

ඔබට මී උණ රෝගය වැළඳී ඇතැයි සැක කරන විට ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබට මී උණ රෝග වැළඳීමේ අවදානම් කටයුත්තක නිරත වූයේ නම්, අධික උණ සමග ඇඟපත රුදාව සෑදුනු වහාම නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සංකූලතා වළක්වා ගැනීම සඳහා මුල් රෝග විනිශ්චය අවස්ථාවේදීම ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර (antibiotic treatment) අත්‍යවශ්‍ය වේ.

 

ඔබට මී උණ රෝගය සෑදීම වළක්වා ගැනීමට කළ යුතු දෑ මොනවාද?

මෙම රෝගය ආසාදනය වීමේ අවදානම අවම කිරීම සඳහා දූෂිත යැයි හැඟෙන ජලය සමඟ ගැටීමෙන් වැළකී සිටීම, එම ජලය සමග ගැටෙනා විට ආරක්ෂිත ඇඳුම් ඇඳීම සහ හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම වැනි පියවර අනුගමනය කරන්න.

  • ජලය රැඳෙන තැන් සහ වක්කඩ වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන් සහ මුහුණ කට සේදීමෙන් වළකින්න.
  • වගා බිම් සැකසීමේදී, දුෂිත පරිසරයන්ට නිරාවරණය වීමේදී අත් හා පා ආවරණ පළඳින්න.‍
  • හොඳ සනීපාරක්ෂක පුරුදු ඇති කර ගන්න: විශේෂයෙන් එළිමහන් ප්‍රදේශවල සිටීමෙන් හෝ සතුන් හැසිරවීමෙන් පසු සබන් හා වතුරෙන් අත් හොඳින් සෝදන්න.
  • මීයන් පාලනය: මීයන් බෝ නොවන ලෙස කුඹුරු සහ අවට පරිසරය සකසා ගන්න.
  • ගොවීන්: මෙම රෝගය ආසාදනය වීමේ අවදානම අවම කිරීම සඳහා සතියකට වරක් ඖෂධ (ප්‍රතිජීවක) ගත හැක. ගොවිතැන් සමයේ මෙම ඖෂධ ලබා ගැනීමට, කරුණාකර ඔබේ MOH කාර්යාලය අමතන්න.

 

ලෙප්ටොස්පයිරෝසිස් රෝගය එක් අයෙකුගෙන් තවත් කෙනෙකුට බෝ විය හැකිද?

ලෙප්ටොස්පයිරෝසිස් සාමාන්‍යයෙන් එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට පැතිරෙන්නේ නැත. එබැවින්, ඔබට මෙම රෝගය වෙනත් ආසාදිත පුද්ගලයෙකුගෙන් ආසාදනය නොවනු ඇත.