දියවැඩියාව

දියවැඩියාව යනු කුමක්ද?

දියවැඩියා රෝගය යනු, ඔබේ රුධිරයේ සීනි (ග්ලූකෝස්) මට්ටම වැඩි වන විට ඇති වන රෝගී තත්ත්වයකි. ඔබේ අග්න්‍යාශය මගින් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීම නිසා හෝ ඔබේ ශරීරය ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් දැක්වීම නිසා හෝ දියවැඩියාව හට ගනියි. දියවැඩියාව සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට බලපායි. දියවැඩියාව නිට්ටාවට සුව කළ නොහැකි නමුත්, වෛද්‍ය උපදෙස් වලට අනුකූලව රෝගය පාලනය කිරීමෙන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කළ හැකිය.

 

දියවැඩියාවේ ප්‍රභේද මොනවාද?

  1. දියවැඩියාවේ ප්‍රභේද I (Diabetes type I) – ඔබේ සිරුර තුළ ඉන්සියුලින් නිපදවීම සම්පුර්ණයෙන් අඩාල වීම නිසා හෝ අවම වශයෙන් ඉන්සියුලින් නිපදවීම නිසා මෙම තත්ත්වය ඇති වේ.
  2. දියවැඩියාවේ ප්‍රභේද II (Diabetes type II) – මෙම තත්ත්වය ශරීරයේ පටක ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් දැක්වීම නිසා ඇති වේ. ජානමය හේතූන්, අධික තරබාරු බව, ව්‍යායාම මදකම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු, ඇතැම් ඖෂධ භාවිතය මෙන්ම, හෝමෝන අසමතුලිතතා ද මෙම වර්ගයේ දියවැඩියාව සෑදීමට මූලික හේතූන් වේ.
  3. ගර්භණී සමයේදී ඇති වන දියවැඩියාව – සමහර කාන්තාවන්ගේ ගර්භණීභාවයේ දී ඇති වන හෝමෝන අසමතුලිතතා නිසා සීනි මට්ටම ඉහළ යාම මෙහිදී සිදු වේ.

මෙම මූලික ප්‍රභේද වලට අමතරව කලාතුරකින් හමු වන තවත් දියවැඩියා ප්‍රභේද රාශියක් හඳුනා ගෙන ඇත.

 

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවාද?

  • අධික පිපාසය
  • අධික ලෙස කුසගින්න වැඩි වීම
  • නිතරම / අධික ලෙස මුත්‍රා පිටවීම, රාත්‍රි කාලයේ වැඩිපුර මුත්‍රා පිටවීම
  • අධික වෙහෙස
  • ඇ‍ස් පෙනීම බොඳ වීම
  • අසාමාන්‍ය ලෙස බර අඩු වීම
  • අත් පා හිරි වැටීම
  • තුවාල සුව වීමට කල් ගත වීම
  • නිතර සමේ සහ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇති වන ආසාදන

කිසිදු රෝගී ලක්ෂණයක් නොමැතිව වුවද දියවැඩියාව පැවතිය හැකි අතර ඔවුන් අහඹු ලෙස වෛද්‍ය පරීක්ෂණ වලදී හඳුනා ගැනේ.

සමහර ‍රෝගීන් රුධිරයේ සීනි මට්ටම අධික ලෙස ඉහළ යාම නිසා වමනය, උදරයේ වේදනාව, විජලනය, සහ හුස්ම ගැනීමේ අපහසුව සමග අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත වේ. මෙම තත්ත්වය ඩයබිටික් කීටෝඇසිඩෝසිස් (Diabetic ketoacidosis) ලෙස හැඳින්වේ.

 

දියවැඩියා රෝගය තහවුරු කර ගන්නේ කෙසේද?

ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇති විට දී හෝ දියවැඩියාව වැළඳීමේ අවදානම් සාධක ඇති නම්, ඔබේ වෛද්‍යවරයා විසින් පහත සඳහන් රුධිර පරීක්ෂණ නිර්දේශ කරනු ඇත.

  • Fasting Blood Sugar (FBS) – (ෆාස්ටින් බ්ලඩ් ෂුගර් – නිරාහාරව සිදු කරනු ලබන රුධිර පරීක්ෂණය)
  • HbA1c
  • Random Blood Sugar (රැන්ඩම් බ්ලඩ් ෂුගර්)
  • OGTT

දියවැඩියා තත්ත්වය තහවුරු කිරීම සඳහා භාවිතා වන රුධිර සීනි මට්ටම්:

  • FBS > 126 mg/dL
  • HbA1c > 6.5%
  • RBS > 200 mg/dL

Fasting Blood Sugar (FBS) පරීක්ෂණය සඳහා පැය 8 සිට 10 දක්වා නිරාහාරව සිටිය යුතුය. එම කාලය තුළදී ඔබට ජලය පමණක් පානය කළ හැක.

ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නම්, රෝග විනිශ්චය සඳහා ඉහත සඳහන් රුධිර පරීක්ෂණ දෙකක් මගින් රෝගය තහවුරු විය යුතුය. එහෙත්, ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම්, එක් රුධිර පරීක්ෂණයක් මගින් පමණක් රෝගී තත්ත්වය තහවුරු වීම රෝග විනිශ්චය සඳහා ප්‍රමාණවත් වේ.

 

පූර්ව-දියවැඩියා තත්ත්වය යනු කුමක්ද?

  • යම් පුද්ගලයෙකුගේ FBS අගය 100 – 125 mg/dL හෝ HbA1c අගය 5.7 – 6.4 % අතර පවතී නම්, ඔහු හෝ ඇය පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන්නේ යැයි සලකනු ලැබේ.
  • ඔබට මේ තත්ත්වය ඇත්තේ නම්, පසු කාලීනව ඔබට දියවැඩියා රෝගී තත්ත්වය වැළඳීමේ අධික අවදානමක් පවතියි. එමනිසා, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් ඔබට එය වළක්වා ගත හැක.

 

දියවැඩියා රෝගයට ඇති ප්‍රතිකාර මොනවාද?

  • ඖෂධ මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීම ද, දියවැඩියා රෝගය පාලනය සඳහා අත්‍යවශ්‍ය වේ.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම
  • ශාරීරික ව්‍යායාම වල යෙදීම
  • මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය නැවැත්වීම
  • මානසික ආතතිය අවම කිරීම

 

සංකූලතා

දියවැඩියා රෝගයේ ප්‍රධාන සංකූලතා මොනවාද?

  • අක්ෂි ආබාධ (retinopathy)
  • දියවැඩියා පාදයේ (diabetic foot) ගැටළු බරපතල වන අතර, ප්‍රතිකාර නොකළහොත් පාදය කපා ඉවත් කිරීමට පවා සිදු විය හැක.
  • හෘදයාබාධ සහ ආඝාතය
  • වකුගඩු ගැටලු (nephropathy)
  • ස්නායු හානි / ස්නායු රෝග
  • විදුරුමස් රෝග සහ අනෙකුත් මුඛ ගැටළු
  • පිළිකා වැනි රෝගී තත්ත්වයන්

දියවැඩියා රෝගය යනු බොහෝ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයන් වලට ගැටළු ඇති කළ හැකි සහ අක්‍රිය වීමට හේතු විය හැකි රෝගයකි. දියවැඩියා රෝගය මගින් සිදු කරන ප්‍රධානතම හානිය එයයි. ඉන්ද්‍රියයන් අක්‍රිය වීම වැළක්වීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය වන්නේ රුධිරයේ සීනි මට්ටම නිවැරදිව පාලනය කිරීමයි.