අධි රුධිර පීඩනය

ඔබගේ රු​ධිර පීඩනය කිහිප අවස්​ථාවකදී​ම 140/90 mmHg යන අගයට වඩා වැඩි වුවහොත් ඔබට අධි රු​ධිර පීඩනය ඇතැයි සැල​කේ.

අධි රුධිර ​පීඩනය නිසා වසරකට ලොව පුරා මිලිය​න 7.5ක් පම​ණ මිය ය​ති. ශ්‍රී ලංකාවේ​ ජනගහනයෙ​න් සෑම තුන් දෙනෙකු ගෙන් එක් අයෙකු​ට​ අධි රු​ධිර පීඩනය ති​බේ.​ ඔබේ රුධිර පීඩනය ප්‍රශ​ස්ථ මට්ටමෙන් පාලනය කර නොගතහොත් දීර්ඝ කාලීන සංකූලතා රැසක් ඇති විය හැක. හෘදයා​බාධ, හෘද​ය වස්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම (හෘද​ය අකර්මන්‍ය වීම හෙවත් හාර්ට් ෆේලියර් තත්ත්වය), අංශභාග තත්ත්ව, වකුගුඩු අක්‍රි​ය වීම වැනි සංකූලතා බොහොමය​ක් ඒ නිසා ඇති ​වේ.

 

අධි රුධිර පීඩනය ඇති වීමට හේතු සාධක මොනවා ද?

  • වයස් ගත වීම
  • ජානමය තත්ත්වයන්
  • බර වැඩි වීම හෝ තරබාරු බව
  • ව්‍යා​යාම වල නො​යෙදී​ම
  • මානසික ආතති​ය
  • අධික ලුණු භාවිතය
  • මේදය අධික ආහාර භාවිත​ය
  • අධික මත්පැන් භාවිත​ය
  • වකුගඩු අක්‍රි​ය වී​ම
  • ​දියවැඩියා​ව

 

රුධිර පීඩනය පරීක්ෂා කළ යුත්තේ කුමන වයස් කාණ්ඩයකදී​ ද?

  • ඔබගේ වයස සහ ඔබට ඇති අනෙකුත් ​සෞ​ඛ්‍ය ගැටළු මත කුමන වයස් කාණ්ඩයක​දී කොපම​ණ කාලයකින් රුධිර පීඩනය මැනිය යුතුද යන්න ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇ​ත.
  •  ඔබට වයස තිස් පහක් හෝ ​ඊට වැඩි න​ම්, වසරක් ඇතුලත නැවත රුධිර පීඩනය මැන ගත යුතු වේ. එසේම ඔබට වෙනත් සෞඛ්‍ය ගැටළු (තරබාරු බව, දියවැඩියාව, හෘදයා​බාධ, අධික කොලෙස්ටෙරෝල් තත්ත්වය, අංශභාග තත්ත්ව) ඇත්නම් වසරක් ඇතුලත නැවත රුධිර පීඩනය මනින්නට ඔබේ වෛද්‍යවරයා​ උපදෙස් ලබා දෙනු ඇත.

 

අධික රුධිර පීඩනය නිසා ඇති වන රෝග ලක්ෂණ මොනවාද?

අධි රුධිර පීඩනය ඇතත්, සමහරවිට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. අධි රුධිර පීඩනය ‘නිහඬ මාරයෙක්’ ලෙසට​ද මේ නි​සා ​හැ​​ඳින්​වේ. රුධිර පීඩනය ඉතාම ඉහළ යන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොදැනීම එයට හේතුවයි.

සමහර විට,

  • හිසරදය, වමන​ය
  • ඇස් නිලංකාර වීම/ බොඳ වී යාම
  • නාසයෙන් ලේ ගැලීම
  • කනේ හෝ හෝ ශබ්දයක් ඇති වී​ම

වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.

 

රුධිර පීඩනය හඳුනා ගන්නා ක්‍රම මොනවා ද?

වෛද්‍ය සායනයක දී, ඔබේ නිවසේදී (හෝම් බ්ලඩ් ප්‍රෙශර් – Home Blood Pressure) හෝ ඔබ එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් පැය 24ක් පුරාවට සිදු කරන රුධිර පීඩනය මැනීම මගි​න් (ඇම්බි​යුලේටරි බ්ලඩ් ප්‍රෙශර් – Ambulatory Blood Pressure) ​රුධිර පීඩනය නිවැරදිව මැන ගැනීමට හැකිය.

 

රුධිර පීඩනය මැනීමේ නිවැරදි ක්‍රියා පටිපාටිය කුමක්ද?

  • රුධිර පීඩනය මැනීමට පෙර පැය බාගයක් ඇතුලත කෝපි හෝ කැෆේන් අඩංගු පානය​න් ගැනීම, ව්‍යා​යාම කිරීම හෝ දුම් පානය කිරීම සිදු නොකළ යුතුය.
  • මුත්‍රා බර දරා නොසිටිය යුතුය.
  • රුධිර පීඩනය මැනීමට පෙර සංසුන්ව අසුන් ගෙන සැහැල්ලුවෙන් සිටිය යුතුය.
  • හොඳින් යටිපතු​ල් පොළොවේ ගැටෙන පරිදි සහ පිට කොන්ද ඔබ හිඳ සිටිනා ආසනයේ ගැටෙන ලෙ​ස, අසුනේ පිටුපසට වන්නට ​වාඩි වී දෙඅත් පුටුවේ ඇන්ඳට පහසුවෙන් ත​බා ගෙන හිඳ ගත යුතුය.
  • කකුල් එක පිට එක දමා ගෙන නොසි​ටිය යුතුය.
  • රුධිර පීඩන මානයේ බාහුව වටා එතෙන කොටස ඇඳුම් වලින් ආවරණය නොවූ ඉහළ බාහුවේ, හෘදය මට්ටමට සමාන්තර වන පරිදි පැළඳිය යුතු​ය.
  • නිශ්ශබ්ද පරිසරයක රුධිර පීඩනය මැනිය යුතුය.
  • රුධිර පීඩනය මැනීමට එන දිනයේ දී සැහැල්ලු අත් සහිත හෝ අත් නොමැති ඇඳුම් පැළඳිය යුතුය.
  • රුධිර පීඩනය මනින විට කතා කිරීමෙන් වැළකිය යුතුය.

අධි රුධිර පීඩනය නිසා ඇති විය හැකි සංකූල​තා මොනවාද?

අධි රුධිර පීඩනය නිසා ශරීරයේ ඇති ඉන්ද්‍රියයන් රාශියකට හානි සිදුවිය හැකිය. හෘදයා​බාධ, ​හෘදය වස්තුව අක්‍රිය වීම (හාර්ට් ෆේලියර් – Heart Failure), අංශභාග තත්ත්ව, ඇස තුළට රුධිරය ගැලීම, වකුගුඩු අක්‍රි​ය වීම වැනි සංකූලතා ඒ අතර වේ. අධි රුධිර පීඩනය හඳුනා ගත්‍ මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ආරම්භ කළ හොත් ඒ වෙනස්කම් අවම කරගත හැකි වන අතර, සමහර වෙනස්කම් නැවත ය​ථා තත්ත්වයට පත් කරගත හැකිය. නමුත් ඔබ ප්‍රතිකාර ගැනීමට ප්‍රමාද වුවහොත් එසේ කළ නොහැකිය.

අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නේ කෙසේද?

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීමෙන් සහ ඖෂධ භාවිතයෙන් ඔබේ අධි රුධිර පීඩනය පාලනය​ කර ගත හැක.

 

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වන්නේ කෙසේද?

ඔබ හුරු වී ඇති බොහොමයක් ජීවන රටාවන් ඔබේ සෞ​ඛ්‍යට ඉ​තා හානිකර ඒවා විය හැක. පහත සඳහන් ආකාරය​ට ඒවා නිවැරදි කර ගත හැකිය.

  • බර අඩු කර ගැනීම – නිවැරදි BMI අගය පවත්වා ගැනීම.
  • ඔබේ ඉණේ වට ප්‍රමාණය පහත සඳහන් අගයන් වලට වඩා අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුය.
    • පිරිමියෙකු​ගේ ඉණ: 90 cm ට වඩා අඩු විය යුතුය
    • ගැහැණු අයෙකුගේ ඉණ: 80 cm ට වඩා අඩු විය යුතුය
  • දිනපතා එළවළු, පලතුරු, ​ධාන්‍ය වර්ග මෙන්ම, ​ප්‍රෝටීන අඩං​ගු මස්, මාළු, එළවළු (සෝයා) ආහාරයට ගත යුතුය. රතුමස් හැකිතාක් අඩු කළ යුතුය.
  • ඔ​බ ගන්​නා ලු​ණු ප්‍රමා​ණය දිනකට තේ හැන්දකට සීමා විය යුතුය.
  • බතට ලු​​​ණු එකතු නොකළ යුතුය.
  • කරවල ආහාරයට ග​න්නේ න​ම් ඒවා උණු වතුරේ බහා, හොඳින් ලු​ණු ඉවත් වන තෙක් ​සෝදා ​භාවිතයට ගත යුතු​ය.
  • අධික ලු​​​ණු යෙදූ ආහාර භාවිතය අවම කළ යුතුය. (උදා: මුරුක්කු, ලුණු යෙදූ කජු, පාන් සහ බේකරි අයිතමයන්, සෝස් වර්ග, චිප්​ස්)
  • දුම් පානයෙන් / දුම්කොළ ​භාවිතයෙන් වැළකී සිටීම.
  • මත්පැන් පානය නැවැත්විය යුතුය.
  • දිනපතා ​ව්‍යායා​ම වල නිරත විය යුතුය.
  • දිනප​තා පැය 6-8 ක් අතර සුව නින්දක් ලබා ගත යුතුය.
  • දිනකට විනාඩි 30 ක් පමණ බැගින් සතියකට දින පහක් ව​ත් හෘදයේ රුධිර ගමනාගමනය වැඩි වන පරිදි වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, දිවීම, වතුපිටි වල වැඩ කිරීම කළ යුතුය.
  • සතියකට දින 2-3කට වතාවක්වත් මස්පිඬු ශක්තිම​ත් කර ගැනීමේ ව්‍යායාම වල නිරත විය යුතුය. (පුෂ්-අප්ස් – Pushups / ස්කොට්ස් – Squats)
  • මානසික ආතතිය අවම වන ලෙසට යෝග ව්‍යායාම, ​භාවනා​ව, සංගීතයට සවන්දී​ම ​වැ​නි​ දේවල නිරත විය යුතුය.

අධි රුධිර පීඩනයේදී භාවිතා කරන ඖෂධ පිළිබඳව ඔබ දැන ගත යුතු කරුණු මොනවාද?

  • ඔබේ වෛද්‍යවරයා විසින් ඖෂධ නියම කර ඇත්නම් එම ඖෂධ හිතුමතේ නතර නොකොට ජීවිත ​කාලය පුරා දිගටම පාවිච්චි කළ යුතුය.
  • ඔබේ ඖෂධ වල වෙනස් කමක් කළ යුතු නම්, ඒ ගැන ඔබේ වෛද්‍යවරයා ඔබට දැනුම් දෙන අතර කිසිම විටෙක අධි රුධිර පීඩනය ​පාලනය වී ඇති නිසා ඖෂධ නතර කළ යුතු යැයි නොසිතිය යුතුය.
  • අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි ඖෂධ රාශියක් ඇත.
  • ඔබේ රු​ධිර පීඩනය පාලනයට නිර්දේශ කර ඇති ඖෂධය තවත් කෙනෙකුට ගැලපෙන්නේ නැත. එමනිසා ඔබේ ඖෂධ වෛද්‍යවරයෙකුගේ අනුදැනුමෙන් තොරව වෙනත්‍ කෙනෙකුට ලබා දීමෙන්ද ​වැළකිය යුතුය.
  • ​​රුධිර පීඩනය පාලනයට ඔබේ ​වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ නියම මාත්‍රාවෙන්, නියමිත වේලාවට, සෑම දිනකම භාවිත කළ යුතුය.
  • ඖෂධ වේලාවල් මග හැර ​නොගන්න. සමහර ඖෂධ එක්වරම නැවැත්වීම ඉතාම නුසුදුසු වන අතර​ එසේ නැවැත්වීම නිසා රුධිර පීඩනය එක්වරම ඉහළ යාමට හැකිය.
  • තමන්ට සිතෙන සිතෙන පරිදි වෛද්‍ය අනුදැනුමකින් තොරව ඖෂධ මාත්‍රාව අඩු වැඩි නොකළ යුතුය.
  • ඖෂධ වේලාවල් මග හැරීමට හෝ ඖෂධ භාවිතයෙන් වැළකී සිටීමට හේතුව ඔබේ වෛද්‍යවරයා සමග කතිකා කරන්න. එවිට ඔහු හෝ ඇය ඒ සඳහා සුදුසු වෙනත් පිළියමක් ඔබට පවසනු ඇ​ත. එම හේතූන් සමහර ඖෂධ භාවිතා කරන විට මතුවන පෞද්ගලික කාරණා වුවද, ඒවා වෛද්‍යවරයා සමඟ නොසඟවා පවසන්න. ලිංගික අතුරු ආබාධ වැනි දේ සමහර ඖෂධ නිසා ඇති විය හැකිය.
  • එකම ඖෂධය දීර්ඝ කාලයක් භාවිතා කිරීම නි​සා වකුග​ඩු රෝග ඇති වන්නේ නැ​​ත.

 

ඔබගේ රු​ධිර පීඩනය පවත්වා ගත යුත්තේ කුමන අගයයන් වල ද ?

අධි රුධිර පීඩ​නයට ප්‍රතිකාර ගැනීමේදි ඔ‍බගේ ප්‍රශස්ථ රුධිර පීඩන අගය දැන ගැනීම වැදගත්ය. බොහෝ අවස්ථා වලදී ඔබේ රුධිර පීඩන අගය 140/90 mmHg ලෙස තබා ගැනීම ප්‍රශස්ථ යැයි සැලකේ. නමුත් විශේෂ අවස්ථා වලදී ඔබට ඇති වෙනත් රෝගී තත්ත්වයන් මත ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට වඩාත් ගැලපෙන රුධිර පීඩ​න මට්ටම තීරණය කරනු ඇත.

 

​ඔබගේ රුධිර පීඩ​නය ප්‍රශස්ථ මට්ටමෙන් පාලනය නොවීමට හේතු මොනවාද?

  • නිසි පරිදි ඖෂධ නොගැනීම
  • රුධිර පීඩනය වැඩි කළ හැකි ඖෂධ භාවිතය (උදා: වේදනානාශක)
  • මත්ද්‍රව්‍ය
  • වෙනත් රෝගී තත්ත්වයන් (උදා: වකුගඩු රෝග)
  • සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාව
  • නිසි පරිදි සකස් නොකළ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම
  • අධික ලුණු භාවිතය
  • මානසික ආතතිය

 

අධි රුධිර පීඩනය සහිත ඔබ කොපමණ කාලයකට වරක් වෛද්‍යවරයා මුණ ගැසිය යුතුද?

  • ඔබේ රුධිර පීඩනය ප්‍රශස්ථ මට්ටමේ පවතී නම්, මාස 3කට වරක් වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රමාණවත් වේ.
  • ඔබ පාලනය නොවූ අධි රුධිර පීඩ​නයෙන් ‍පෙළෙයි නම්, නිතර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.
  • වසරකට වරක් වත් අධි රුධිර පීඩනය නිසා ඇති වන සංකූලතා හඳුනා ගැනීමට අවශ්‍ය පරීක්ෂණයන් සිදු කර ගැනීම වැදගත්ය.

 

සාරාංශ​ය

  • අධි රුධිර පීඩනය නිහඬ මාරයෙකි.
  • අධි රුධිර පීඩනය නිසා ශරීරයේ ඇති ඉන්ද්‍රියයන් රාශියකට හානි සිදුවිය හැකිය.
  • අධි රුධිර පීඩනය පාලනය සඳහා ජීවන රටාවන් වෙනස් කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
  • අධි රුධිර පීඩනය සමඟ හෘද ආශ්‍රිත රෝග වැළඳීමේ අවදානම විමසා බැලීම අත්‍යවශ්‍ය වේ.
  • දුම් පානයෙන් / දුම්කොළ ​භාවිතයෙන් වැළකී සිටිය යුතු අතර මත්පැන් පානය නැවැත්විය යුතුය.
  • දිනපතා ​ව්‍යායාම වල නිරත විය යුතුය.
  • දිනප​තා පැය 6-8 ක් අතර සුව නින්දක් ලබා ගත යුතුය
  • ලුණු භාවිතය අවම කළ යුතුය.