අක්මාවේ මේදය තැන්පත් වීම හෙවත් ෆැටි ලිවර් (Fatty Liver) තත්ත්වය

ෆැටි ලිවර් (Fatty Liver) තත්ත්වය යනු කුමක්ද?

අක්මාවේ මේදය තැන්පත් වීම Fatty Liver ලෙස හැඳින්වේ.

ලෝක ජනගහනයෙන් සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ Fatty Liver රෝගී තත්ත්වයෙන් පෙළෙයි.

දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයකට මෙම රෝගී තත්ත්වය ඇත.

මධ්‍යසාර භාවිතය ඇතිව හෝ නොමැතිව අක්මාවේ මේද තැන්පත් වීම සිදුවිය හැක. එම රෝග තත්ත්ව පිළිවෙලින්, මධ්‍යසාර ආශ්‍රිත Fatty Liver සහ මධ්‍යසාර ආශ්‍රිත නොවන Fatty Liver නම් වේ.

Fatty Liver රෝගය සිරෝසිස් (Cirrhosis) තත්ත්වය දක්වා වර්ධනය විය හැක. Fatty Liver රෝගීන් 10%කට සහ Fatty Liver ඇති දියවැඩියා රෝගීන් 20%කට සිරෝසිස් ඇති වීමේ අවදානමක් ඇත.

Fatty Liver සහිත රෝගීන්ගෙන් සුළුතරයකට අක්මා පිළිකා ඇතිවිය හැක. එසේම හෘදයාබාධ වැනි රුධිර වාහිනී ආශ්‍රිත රෝග සෑදීමේ අවදානම ද ඉතා ඉහළය. එම අවදානම කොතරම්දයත්, Fatty Liver රෝගීන් බහුතරයක් මිය යාමට හේතුව හෘදයාබාධ, අංශභාගය වැනි රුධිර වාහිනී ආශ්‍රිත රෝගී තත්ත්වයි.

සිරෝසිස් සෑදීමෙන් පසු එය ආපසු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රතිකාර නොමැතිමුත් සිරෝසිස් සෑදීමට පෙර ප්‍රතිකාර කිරීමෙන් එය සම්පූර්ණයෙන් පාලනය කළ හෝ සුව කළ හැක. එමනිසා සිරෝසිස් සැදීමට පෙර Fatty Liver තත්ත්වය කල්තියා හඳුනා ගෙන පාලනය කිරීම අතිශය වැදගත් වේ.

 

Fatty Liver සෑදීමට හේතු සහ අවදානම් සාධක මොනවාද?

  1. මත්පැන් භාවිතය
  2. දියවැඩියාව
  3. ව්‍යායාම අඩු බව
  4. හකුරු වැනි ෆෘක්ටෝස්, මේදය සහ සකස් කළ ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම
  5. ජාන මගින් දෙමාපියන් ගෙන් දරුවන්ට ප්‍රවේණිගත වීම
  6. ස්ථූලතාවය

ඔබට ඉහත සඳහන් අවදානම් සාධක ඇත්නම්, ඔබට Fatty Liver රෝග තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් ඇත. ස්ථූල පුද්ගලයන් අතර Fatty Liver බහුල වුවද, සිහින් සිරුරැති පුද්ගලයන්ටත් Fatty Liver සෑදීමේ හැකියාවක් ඇත.

 

Fatty Liver රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • Fatty Liver තත්ත්වය රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වා දීර්ඝ කාලයක් තිස්සේ පැවතිය හැක.
  • රෝගියා සිරෝසිස් තත්ත්වයට පත්වන තෙක් ඔහුට ඒ පිළිබඳ අවබෝධයක් නොමැත.
  • ඇතැම් විට, ඉහළ උදරයේ දකුණුපස වේදනාවක් හෝ පිම්බුනු ස්වභාවයක් ඇතිවිය හැක.

 

Fatty Liver හඳුනා ගැනීම සහ ඒ සඳහා ඇති පරීක්‍ෂණ

අක්මාවෙහි අතිධ්වනි ස්කෑන් (ultrasound scan) පරීක්‍ෂණයක් මගින් Fatty Liver හඳුනාගත හැක. තවද, AST, ALT වැනි අක්මා එන්සයිම වල ඉහළ යාමක් සිදුවිය හැක. Fatty Liver තත්ත්වය සිරෝසිස් දක්වා වර්ධනය වීමට ඇති හැකියාව “FibroScan” පරීක්‍ෂණයක් මගින් හඳුනාගත හැක.

 

Fatty Liver රෝගය සුව කළ හැකි ද?

ඔව්. රෝගයේ මුල් අවස්ථාවේ දී හඳුනාගතහොත් පාලනය හෝ සුව කළ හැක.

 

Fatty Liver සඳහා ඇති ප‍්‍රතිකාර මොනවාද?

මූලික ප‍්‍රතිකාර ක‍්‍රමය වනුයේ නිවැරදි ජීවන රටාවකට හුරු වීම, Fatty Liver ඇතිවීම සඳහා හේතුවන අවදානම් සාධක පාලනය කිරීම, සහ අනෙකුත් රෝග පාලනය කිරීමයි.
ඖෂධ මගින් Fatty Liver පාලනයට ඇති හැකියාව සීමා සහිතය. එසේම, ඒවා මිල අධික වන අතර පහසුවෙන් ලබාගත හැකි ඒවා නොවේ.

 

Fatty Liver සෑදීමට හේතු සහ අවදානම් සාධක මොනවාද?

  • මත්පැන් භාවිතය නැවැත්වීම.
  • සීනි (ෆෘක්ටෝස්), මේදය, සහ සකස් කළ ආහාර (සොසේජස්) හා කාබෝහයිඩ්‍රේට ආහාර අධික භාවිතය නතර කිරීම.
  • බර අඩු කර ගැනීම (10% කින්, වෛද්‍ය උපදෙස් අනුව).
  • දිනකට අවම මිනිත්තු 30 බැගින් සතියකට දින 5ක් ව්‍යායාම කිරීම.
  • නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
  • විවිධ ශාකසාර හෝ කැඳ වර්ග මගින් මෙම රෝගයට කළ හැකි බලපෑම පෙන්වීම සඳහා ප‍්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැත.

 

ආහාර වේල නිවැරදි කරගන්නේ කෙසේද?

Fatty Liver පාලනය සඳහා වන ශාරීරික ව්‍යායාම මොනවාද?

සතියට අවම දින 5ක් වත්, දිනකට අවම විනාඩි 30 බැගින් ස්වායු ව්‍යායාම (aerobic exercise) වල නිරත වීම.

 

Fatty Liver මගින් ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

  • සිරෝසිස්
  • අක්මාව ආශ‍්‍රිත පිළිකා තත්ත්වයන්
  • හෘදයාබාධ වැනි රුධිර වාහිනී ආශ‍්‍රිත රෝගී තත්ත්වයන්

 

Fatty Liver වළක්වා ගන්නේ කෙසේද?

නිවැරදි ජීවන රටාවක් අනුගමනය කිරීමෙන් සහ සමබල සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට අනුගත වීමෙන් Fatty Liver වළක්වා ගත හැක.

  • මත්පැන් භාවිතය නතර කරන්න.
  • දිනපතා ව්‍යායාම කරන්න.
  • ප්‍රශස්ථ ශරීර ස්කන්ධ දර්ශකයක් (ideal body mass index) පවත්වා ගන්න.
  • දියවැඩියාව, අධික කොලෙස්ටරෝල් තත්ත්වය වැනි අනෙකුත් රෝගී තත්ත්වයන් නිසියාකාරයෙන් පාලනය කර ගන්න.
  • නිවැරදි ආහාර රටාවක් අනුගමනය කරන්න.