ඩෙංගු රෝගය

ඩෙංගු යනු කුමක්ද?

  • ඩෙංගු යනු Aedes ඝනයට අයත් මදුරුවෙකු මගින් සම්ප්‍රේෂණය වන, වෛරසයක් නිසා ඇති වන උණ රෝගයකි.
  • මෙම උණ රෝගය කල් තියා හඳුනා ගෙන නිසි අධීක්ෂණයක් සහ නිවැරදි ප්‍රතිකාර නියමිත වේලාවට ලබා දෙන්නේ නම්, සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.

 

එය වෙනත් වෛරස් උණකින් වෙනස් වන්නේ කෙසේද?

  • ඔබ ඩෙංගු බහුලව පවතින ප්‍රදේශයක ජීවත් වන්නේ නම් හෝ එවැනි ප්‍රදේශයක සංචාරය කිරීමෙන් පසුව ඔබට අධික ශරීර වේදනාවක් සමග අධික උණ තත්ත්වයක් ඇති වුවහොත් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇත්දැයි සැක කළ යුතුය.
  • ඩෙංගු වෛරසය ශරීරගත වූ බහුතරයකට ඇති වන ඩෙංගු උණ රෝගයේ රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණකට බොහෝ දුරට සමාන වේ.
  • ඩෙංගු වෛරසය ශරීරගත වූ සුළුතරයකට ඇති වන ඩෙංගු රක්තපාත උණ (DHF) තත්ත්වයේ දී රුධිර ප්ලාස්මාව සියුම් රුධිර නාල හරහා උදර කුහරයට සහ පෙනහලු තුළට කාන්දු වීම සිදු වේ. මෙම තත්ත්වය දරුණු වූ විට, රුධිර පීඩනය අඩු වී අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ද හානි ඇති විය හැක.

 

ඔබ ඩෙංගු ගැන දැන ගත යුත්තේ ඇයි?

  • එය රටේ බොහෝ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන උණ රෝගයකි.
  • රෝගීන්ගෙන් සුළුතරයකට ඇතිවන ඩෙංගු රක්තපාත තත්ත්වය තුළදී සංකූලතා ඇතිවිය හැකි බැවින් ඔබ ‍රෝහල් ගත වී ප්‍රතිකාර නොගතහොත් තත්ත්වය බරපතල විය හැක.
  • අනෙක් අතට, ඔබ නියමිත වේලාවට ප්‍රතිකාර ලබා ගන්නේ නම්, ඔබ සම්පූර්ණයෙන්ම සුව වනු ඇත.
    එබැවින්, සාමාන්‍ය ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ තත්ත්ව වල රෝග ලක්ෂණ පිළිබඳව දැන ගැනීම ඉතා වැදගත්ය.

 

ඩෙංගු රෝගය හඳුනා ගන්නේ කෙසේද?

ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ

  • මෙය බොහෝ විට රෝග ලක්ෂණ වලින් හඳුනාගත හැකි රෝගයකි.
  • සාමාන්‍ය රෝග ලක්ෂණ – තද උණ, දරුණු හිසරදය, ඇස් පිටුපස වේදනාව, තද ඇඟපත වේදනාව
  • දුර්ලබ රෝග ලක්ෂණ – උගුරේ අමාරුව, පාචනය
  • ප්‍රතිදේහජනක (Antigen) පරීක්ෂණය ඩෙංගු රෝගය හඳුනා ගැනීම සඳහා උපකාරී වේ.
  • ඩෙංගු රෝගයේ දී රුධිර පට්ටිකා අඩුවීමක් දක්නට ලැබේ.

 

ඩෙංගු රෝගයේ මූලික අවස්ථවේ දී නිවසේ සිට ප්‍රතිකාර කළ හැකිද? එහිදී ඔබ පිළිපැදිය යුතු කරුණු මොනවාද?

  • ඩෙංගු උණ ලෙස අනුමාන කළ රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කිරීම සෑම විටම වෛද්‍යවරයෙකු විසින් අනුමත කළ යුතුය.
  • විවේක ගැනීම.
  • අවශ්‍ය ප්‍රමාණයට දියර ගැනීම.
  • රෝග ලක්ෂණ වලට වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර කිරීම. උදා:- Paracetamol.
  • Aspirin/ Dexamethasone සහ අනෙකුත් වේදනානාශක ඖෂධ ගැනීමෙන් වැළකී සිටිය යුතුය.
  • ඔබ නිධන්ගත රෝග වලට ප්‍රතිකාර ගන්නේ නම්, සමහර ඖෂධ නතර කිරීමට වෛද්‍ය උපදෙස් ලැබෙනු ඇත.
  • මුත්‍රා ප්‍රමාණය සහ වර්ණය ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.
  • අනතුරුදායක රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
  • ඔබගේ වෛද්‍යවරයා උපදෙස් දුන් පරිදි නැවත ඔහු/ඇය හමුවන්න.  රුධිර සාම්පල පරීක්ෂා කිරීමට ඔබට එවිට උපදෙස් ලැබෙනු ඇත.

 

ඔබ නිවසේ සිට ප්‍රතිකාර ගන්නා රෝගියෙකු නම්, අවදානම් සහිත රෝග ලක්ෂණ මොනවාද?

  • උපදෙස් දුන් පරිදි දියර පානය කළ නොහැකි වීම
  • නිතර වමනය, පාචනය
  • ලේ ගැලීම
  • මුත්‍රා පිටවීම අඩු වීම – දළ වශයෙන් 1ml/kg/hr ට වඩා අඩු වූ විට
  • ක්ලාන්ත ගතිය
  • සිහි කල්පනාව වෙනස් වීම

 

ඔබ රෝහලකට ඇතුළත් කිරීම ගැන සලකා බැලිය යුත්තේ කුමන අවස්ථාවකදීද  සහ ඇතුළත් වූ පසු සිදු වන්නේ කුමක්ද?

  • ඔබට ඉහත සඳහන් අවදානම් සහිත රෝග ලක්ෂණ තිබේ නම්.
  • රුධිර පට්ටිකා ගණන 130,000 ට වඩා අඩු වූ විට.
  • ඔබට නිධන්ගත රෝග කිහිපයක් තිබේ නම් හෝ ගර්භනී තත්ත්වයෙන් පසුවන්නේ නම්, රෝහලට කලින් ඇතුළත් විය යුතුය.
  • ඩෙංගු ප්‍රතිදේහජනක (Antigen) රුධිර සාම්පලයේ තිබේ යැයි සනාථ වීම, රෝහලකට ඇතුළත් වීමට හේතුවක් නොවේ.
  • ඔබ රෝහලට ඇතුළු වූ විට ඔබට නිතිපතා නිසි වෛද්‍ය සහ හෙද සත්කාර ලැබෙනු ඇත.
  • ඔබේ දේහ උෂ්ණත්වය, දියර පරිභෝජනය සහ මුත්‍රා පිටවීම අධීක්ෂණය  කරනු ලැබේ.
  • නිතිපතා රුධිර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
  • අවශ්‍ය වූ විට, රක්තපාත තත්ත්වය සනාථ කිරීමට වාට්ටුව තුළදී ස්කෑන් පරීක්ෂණ සිදු කරනු ලැබේ.

 

ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක්ද?

  • රුධිර ප්ලාස්මාව කාන්දු වන අදියර මෙය වන අතර එවිට එය සාමාන්‍යයෙන් පැය 48ක් පමණ පවතියි.
  • එය සාමාන්‍යයෙන් උණ ආරම්භයේ සිට දින තුන්වන දිනය හා හත්වන දිනය අතර කාලය තුළ සිදු වේ. ප්‍රතිශක්තීකරණ ප්‍රතික්‍රියාවක් හේතුවෙන්, දෙවන වරට හෝ ඊට වැඩි වාර ගණනක් ඩෙංගු රෝගය වැළඳුනු රෝගීන් තුළ ප්‍රධාන වශයෙන් සිදු වේ.
  • මෙවිට, සාමාන්‍යයෙන් උණ අඩු වන අතර රෝගියාට අපහසුතාවයක් දැනෙනු ඇත. උදර වේදනාව, වමනය, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණද මතු විය හැක.
  • මෙබඳු රෝගීන් සමීපව අධීක්ෂණය කළ යුතු බැවින්, රෝහල් ගතවීම අනිවාර්‍ය වේ.

 

ඔබට රෝහලෙන් පිටව යා හැක්කේ කවර අවස්ථවකදීද? ඉන්පසු ඔබ පිළිපැදිය යුතු උපදෙස් මොනවාද?

  • උණ පහව ගිය විට, සුව යැයි දැනෙන විට, රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ යාමට පටන් ගැනීමෙන් පසු හා රක්තපාත තත්ත්වය පහව ගිය පසු ඔබට රෝහලෙන් පිටව යා හැක.
  • රෝගීන් සඳහා දින කිහිපයක ප්‍රමාණවත් විවේකයක් අවශ්‍ය වේ.
  • රුධිර සාම්පල නැවත පරීක්ෂා කිරීමට ඔබට සිදුවේ.
  • වෙහෙස මහන්සි වී වැඩ කිරීමට / ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

 

Aedes මදුරුවාගේ විශේෂ ලක්ෂණ තිබේද? බෝවන ස්ථාන මොනවාද? ඩෙංගු සම්ප්‍රේෂණය වීම වළක්වා ගන්නේ කෙසේද?

  • පිරිසිදු ජලය එකතු වන ස්ථාන – මල් පෝච්චි, කාණු, ඉවතලන ටයර්, ඉදිකිරීම් ස්ථාන ආදිය
  • මෙම මදුරුවා දෂ්ඨ කරනුයේ උදෑසන සහ සවස වන අතර එකවර පුද්ගලයන් කිහිප දෙනෙකුට දෂ්ඨ කරයි.
  • ඔබේ ගෙවත්ත මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව තබා ගැනීම වැදගත් වේ.
  • මදුරු දෂ්ඨනය අවම කිරීමට පියවර ගන්න.
  • තමන්ගේ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට රෝග නිවාරණ සෞඛ්‍ය කණ්ඩායම්වල සහය ලබා ගන්න.

 

රුධිර පට්ටිකා ගණන ඩෙංගු රෝගයේ බරපතලකම කෙරෙහි යම් බලපෑමක් ඇති කරයිද?

  • රුධිර පට්ටිකා ප්‍රමාණය ඩෙංගු රෝගයේ දී පරීක්ෂා කරනු ලබන එක් රසායනාගාර දර්ශකයකි.
  • එය සායනික රෝග විනිශ්චයට මෙන්ම රෝහල් ගතවීමට අවශ්‍ය දැයි තීරණය කිරීමට උපකාරී වේ.
  • රුධිර පට්ටිකා ඉහළ යාම රෝගියා සුවය ලැබීමට යන බව පෙන්නුම් කරන ලක්ෂණයකි.
  • ඉහත කරුණු තීරණය කිරීම සඳහා අප බොහෝ සායනික දත්ත හා කරුණු භාවිතා කරන අතර රුධිර පට්ටිකා ගණන එයින් එක් කරුණක් පමණි.
  • කෙසේ වෙතත්, නිවසේ සිට ප්‍රතිකාර ගන්නා අතරතුර රුධිර පට්ටිකා ප්‍රමාණය වේගයෙන් පහත වැටේ නම්, ඔබ වහාම රෝහල් ගත විය යුතුය.

 

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යැයි පවතින ඇතැම් දේශීය නිෂ්පාදනවල කාර්යභාරය කුමක්ද?

  • ඩෙංගු සඳහා ප්‍රතිකාර ලෙස ඇතැම් ප්‍රදේශ වල ප්‍රචලිත දේශීය නිෂ්පාදන රාශියක් ඇත.
  • ඩෙංගු රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර රෝගී සත්කාරයේ ප්‍රධාන අරමුණ වන්නේ රක්තපාත අවධියේදී සමීපව අධීක්ෂණය කරමින් දියර නිසි ලෙස භාවිත කිරීමයි.
  • මෙබඳු දේශීය නිෂ්පාදන වලින් ඩෙංගු රෝගය නිත්‍ය වශයෙන් සුව වේ යැයි විද්‍යාත්මකව තහවුරු කර නැත.

 

දැනට ඩෙංගු සඳහා එන්නත් තිබේද?

  • බොහෝ වෛරස් රෝගවලින් ආරක්ෂා වීමට එන්නත් නිෂ්පාදනය කර ඇත.
  • Dengavaxia දැනට බලපත්‍ර ලබා දී ඇති එක් එන්නතකි.
  • මාස හයක පරතරයකින් ලබා දෙන මාත්‍රා 3 ක් එහි අඩංගු වේ.
  • එය ඩෙංගු රෝගය වැළඳීම වළක්වන්නේ නැති වුවද, රෝගය වැළදුණු විටකදී ඇති වන සංකූලතා අවම කරයි.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය පූර්ණ ලෙස නිර්දේශ කර නොමැති නිසා ශ්‍රී ලංකාව තුළ තවමත් භාවිතා කිරීමට බලපත්‍ර ලබා දී නොමැත.
  • තවත් ඩෙංගු එන්නත් 5ක් දැනට අත්හදා බැලීම් තත්ත්වයේ පවතියි.